මින් යූන්-ගි BTS SUGA

දුප්පත්කම, කරදර වේදනා ඉදිරියේ නොසැලී තමන්ගේ හීනය හැබෑ කරගත් මින් යූන්ගි 

අනාගතයේ සාර්ථක පුද්ගලයෙක් වෙන එක ගැන හීන මවන එක හරිම ලේසියි. ඒත් ඇත්තටම ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන එක පහසු නැහැ. විවිධාකාර හේතු නිසා ගොඩක් අය ඒ හීන අතෑරලා දානවා. ආර්ථික ප්‍රශ්න, පවුලේ අයගෙන් සහයෝගයක් නොලැබීම, සෞඛ්‍ය ගැටළු, සමාජයෙන් එල්ල වෙන බාධා, අනපේක්ෂිත කරදර වගේ දේවල් ඒ අතර ප්‍රධානයි. ඒ අතරින් හේතු එකක් දෙකක් වෙනුවට ඒ හැම හේතුවකට මුහුණ දීලත් තමන්ගේ හීනය වෙනුවෙන් මහන්සි වෙන එක නතර නොකළ ආදර්ශමත් කලාකරුවෙක් විදිහට මින් යූන්ගි නැතිනම් BTS SUGA හඳුන්වන්න පුළුවන්.

1993 වසරේ මාර්තු 09 වන දින දකුණු කොරියාවේ ඩේගු පලාතේ උපන් මින් යූන්ගි වයස අවුරුදු 12 දී හිප්-පොප් සංගීතය ගැන විශේෂ අවධානයක් යොමු කළා. Epik High සංගීත කණ්ඩායමේ සංගීතයට සවන් දීමෙන් පසුව රැප් ගායකයෙක් වීමට හීන දැකපු යූන්ගි වයස අවුරුදු 13 දී ගීත රචනා කිරීම ආරම්භ කළා වගේම සංගීත නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. අනාගතය අස්ථාවර අංශයකින් ඉදිරියට යෑමට තීරණය කිරීම නිසා ඔහුගේ පවුලේ අයගෙන් ඔහුට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. 

අවුරුදු 16 දී තමන්ගේ මුල්ම ගීත නිෂ්පාදනය කරන යූන්ගී අධ්‍යාපන කටයුතු අතරම සංගීත ශබ්දාගාරයක සේවකයෙක් part time රැකියාවක් කලත් ඒ සඳහා ඔහුට කිසිම ගෙවීමක් ලැබෙන්නේ නැහැ‍. නමුත් සංගීත නිෂ්පාදනයට ආදරය කළ යූන්ගී තමන්ට ලැබෙන වෘත්තීය අත්දැකීම් වෙනුවෙන් අවුරුදු දෙකක්ම ඒ ස්ථානයේ සේවය කරනවා. ඒ වගේම වෙනත් ගායකයින් ඔහු නිෂ්පාදනය කරන සංගීත තනු මිලදී ගත්තේ සොච්චම් මුදලකට. ආර්ථික අපහසුතා තිබුණු පවුලක දරුවෙක් විදිහට ඔහුට ඒ උපයන මුදල එක් ආහාර වේලක්වත් ලබා ගැනීමටවත් ප්‍රමාණවත් වුණේ නැහැ. දවසේ එකම ආහාර වේල විදිහට වොන් 1000 කට බඩෙන් බාගයක් පිරෙන්න නූඩ්ල්ස් කාලා ඉතුරු වොන් 1000 න් බස් එකේ ටිකට් එකක් අරන් ගෙදර යනවාද නැතිනම් වොන් 2000 ම ගෙවලා බඩපිරෙන්න නූඩ්ල්ස් එකක් කාලා පැය දෙකක් පයින් ඇවිදලා ගෙදර යනවාද කියලා තීරණය කරන්න වුණු දවස් තිබුණු බව යූන්ගි වරක් සඳහන් කළා.

ඒ කාලයේ ඩේගූ නගරයේ underground ශෛලියේ D-Town නම් වූ සංගීත කණ්ඩායමට Gloss නමින් රැප් ගායකයෙක් ලෙස එක් වෙන යූන්ගි ග්වැන්ජු කැරැල්ල ගැන නිර්මාණය වූ 518-062 නම් වූ ගීතය නිෂ්පාදනය කරනවා.

Bighit ආයතනය විසින් සංවිධානය කල Hit It කුසලතා තරඟාවලියේදී පසුකාලයක ඔහුගේ කණ්ඩායමේ නායකයා බවට පත් වන RM ගේ ගීතයක් තමන්ගේ ශෛලියට වෙනස් කර ගායනා කර දෙවන ස්ථානයට පත් වෙන යූන්ගී මුලින්ම සංගීත නිෂ්පාදකයෙක් ලෙස Bighit ආයතනය සමඟ එක් වී පසුව හිප්පොප් රැප් ගායකයෙක් ලෙස පුහුණුවීම් ආරම්භ කරනවා. නමුත් හිප් පොප් කණ්ඩායමක් වෙනුවට kpop idol සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඒ ආයතනය තීරණය කිරීමත් සමඟ ඊට පෙර නර්තනය හදාරා නොතිබුණු යූන්ගී 2010 වසරේ නොවැම්බරයේ සිට RM සමග එක් වී idol පුහුණුවීම් ආරම්භ කරනවා. යූන්ගී BTS කණ්ඩායමට දෙවෙනියට එක් වූ සාමාජිකයායි. Bighit ආයතනයේ පුහුණුවීම් අතරතුර ආර්ථික අපහසුතා නිසා බෙදාහරින්නෙක් (Delivery Boy) වශයෙන් අමතර රැකියාවක නියැලෙන යූන්ගි 2012 දී රිය අනතුරකට මුහුණ දෙන්නේ ඔහුගේ හීනය කරා යන ගමනට බාධා කරමින්. උරහිසේ ආබාධයකට ලක් වෙන ඔහු ඒ බව සියළු දෙනාගෙන් වසන් කරන්නේ තමන්ට හිමි වූ වටිනා අවස්ථාව මඟ හැරේ යැයි බියෙන්. වේදනාව විඳ දරා ගනිමින් නර්තන පුහුණුවීම් වල යෙදෙන යූන්ගීට ආර්ථික වශයෙන් සහයෝගය ලබා දීමට Bighit ආයතනය ඉදිරිපත් වෙන්නේ BTS කණ්ඩායම නිල වශයෙන් ආරම්භ කිරීමටත් පෙරාතුවයි. ඒ කාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද, තවත් පුහුණුවීම් වල යෙදෙන සාමාජිකයෙක් අසනීප වූ අවස්ථාවක ඔහුව රෝහලට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දී රෝහල් ගාස්තු පවා ගෙවීමට යූන්ගී ඉදිරිපත්වීම ගැන පසු කලෙක ඒ තරුණයා ස්තූතිපූර්වකව සිහිපත් කළා.

2013 වසරේ BTS ලෙසින් තවත් සාමාජිකයින් හය දෙනෙක් සමඟ kpop idol වෘත්තිය ආරම්භ කිරීමට යූන්ගි ට අවස්ථාව ලැබෙනවා. ඔහු පාසල් කාලයේ දක්ෂ basketball Shooting Guard ක්‍රීඩකයෙක් වූ අතර SUGA යන වේදිකා නාමය තෝරා ගන්නේ Shooting Guard – 드   කොරියානු වචන දෙකේ මුල් උච්චාරණ දෙක එක් කිරීමෙනුයි.

BTS කණ්ඩායමේ දෙවෙනි වැඩිමහල් සාමාජිකයා වශයෙන් අනෙකුත් සාමාජිකයින් ගැන නිතර සොයා බලන යූන්ගී ගේ ගතිගුණ BTS සාමාජිකයින් විසින් සමාන කරන්නේ පිටතට නොපෙන්වූවද දරුවන්ට දැඩි ලෙස ආදරය කරන පියෙක් ගේ ගතිගුණ වලටයි. BTS කණ්ඩායමට විරුද්ධව එල්ල වන අපහාස ඉදිරියේ ඍජුව කතා කරන යූන්ගී කණ්ඩායම මුහුණ දුන් විවිධාකාර ගැටළු වලදී සාමාජිකයින් සමඟ එක්ව මුහුණ දුන්නා. රැප් ගායකයෙක් මෙන්ම ගීත රචකයෙක් සහ සංගීත නිෂ්පාදකවරයෙක් ලෙස BTS කණ්ඩායමට තම දක්ෂතා එක් කරන යූන්ගී ඔහුට මුහුණ දීමට සිදු වූ සෑම අභියෝගයකටම නොපැකිලිව මුහුණ දුන් කලාකරුවෙක්. 

2012 රිය අනතුර හැරුණු විට තවත් අවස්ථා දෙකක විවිධ අසනීප තත්වයන් නිසා වෛද්‍ය ප්‍රතිකාර සහ සැත්කම් වලට යොමු වීමට ඔහුට සිදු වුණා.

2012 වසරේ රිය අනතුරට මුහුණ දීමෙන් පසුව ඔහුගේ උරහිසේ වේදනාවක් හටගත් අතර 2019 වර්ෂයේ උරහිසේ labrum කොටස ඉරී ඇති බව වෛද්‍යවරුන් තහවුරු කළා. ඒ අනුව ඔහු 2020 වර්ෂයේ කොවිඩ් වෛරසය නිසා BTS කණ්ඩායමේ ප්‍රසංග අත්හිටුවා තිබුණු සමයේ තාවකාලික විරාමයක් ලබා ගනිමින් සැත්කමකට භාජනය වූණා. ඒ දක්වා කාලයේ වේදිකාවේ නර්තනයන් ඉදිරිපත් කිරීමේදී උරහිස වේදනාවන් විඳ දරා ගනිමින් තම උපරිම හැකියාවන් පෙන්වූ යූන්ගි ඊට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කණ්ඩායමේ කටයුතු වලින් විරාමයක් ලබා ගැනීමට පැකිලුනේ කණ්ඩායමේ කටයුතු වලට බාධාවක් වේ යැයි සිතූ නිසයි. 

ඔහු කණ්ඩායමේ කටයුතු වලින් විරාමයක් ලබා ගත් කාලයේ කණ්ඩායමේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් සෑම විටම ඉඩක් වෙන් කිරීම ලෝකය පුරා රසිකයින් සහ රසිකයින් නොවන පිරිස අතරත් පැසසුමට ලක් වුණා. 

මුල් කාලයේ ඔහු තෝරා ගත් මාර්ගය ගැන විරෝධය දැක් වූ ඔහුගේ දෙමව්පියන් පසුව ඔහුට සම්පූර්ණ සහයෝගය ලබා දුන් අතර ඔවුන් යූන්ගී ඇතුළු BTS කණ්ඩායමේ ප්‍රසංගයක් නැරඹිමට එක් වූ පළමු අවස්ථාවේ වේදිකාවේ සිටම දෙමව්පියන්ට දණ ගසා ආචාර කර හඬා වැටුණ යූන්ගී අද ඔහුගේ දෙමව්පියන්ට, ඔහු උපන් නගරයට මෙන්ම ඔහුගේ රටටම ආඩම්බර විය හැකි දක්ෂ කලාකරුවෙක්‍.

දකුණු කොරියාවේ ජාතික සහ සංස්කෘතික සංවර්ධනයට විශිෂ්ට මෙහෙවරක් කල කොරියානුවන්ට ලබා දෙන හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්නය ජන්ග් හෝසොක් ඇතුළු BTS කණ්ඩායමට හිමි වුණ අතර එය කොරියානු ජාතිකයෙකුට ලබා ගත හැකි එරට ඉහලම සම්මානයයි. කොරියානු සමූහාණ්ඩුවේ ජනාධිපති නියෝජිතයින් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2021 SDG සමුළුවට ඇමතීමටත් මින් යූන්ගි ඇතුළු BTS කණ්ඩායමට අවස්ථාව ලැබුණා. 

ඩේගු පලාතේ පාසල් තුනකින් මූලික අධ්‍යාපනය ලබන යූන්ගී 2013 වසරේ ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයට ඇතුලත් වී Broadcasting and Entertainment උපාධිය ලබා ගත් අතර වර්තමානයේ හන්යන්ග් සයිබර් විශ්ව විද්‍යාලයේ, ප්‍රචාරණය සහ මාධ්‍ය පිළිබඳ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය (Masters) උපාධිය හදාරනවා.

යම් දිනයක සංගීත ශිල්පියෙක් ලෙස තමා සාර්ථක වුවහොත් තම රසිකයින්ට ආහාර ලබාදෙන බවට 2014 වසරේ තම රසිකයින්ට ලබා දුන් පොරොන්දුවක් අනුව ඊට වසර 4 කට පසු දකුණු කොරියාවේ ළමා නිවාස 39 කට තම රසිකයින්ගේ නමින් (ARMY) ආහාර පරිත්‍යාග කල යූන්ගි කිහිප වතාවක්ම පිළිකාවෙන් පීඩා විඳින දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කල අතර කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් තම උපන් පලාතේ ජනතාව වෙනුවෙන් ද වොන් මිලියන 100 ක් පරිත්‍යාග කළා. 

BTS කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස සංගීත කටයුතු වල යෙදෙන අතරම ස්වාධීන කලාකරුවෙක් ලෙසත් සංගීත ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගෙන සිටින මින් යූන්ගී ගේ අන්වර්ථ නාමය Agust D වේ. ඒ නම සකස් වී තිබෙන්නේ මේ ආකාරයෙන්. 

SUGA -> AGUS (BTS වේදිකා නාමය විරුද්ධ අතට ලිවීම)
T D > D T > Daegu Town | D-Town (උපන් නගරය සහ මුල්ම සංගීත කණ්ඩායමේ නම් වල මුල් අකුරු විරුද්ධ අතට ලිවීම)

Agust D ලෙසින් නිකුත් කල mixtape ඇල්බම් දෙකම ඔහුගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම් වූ ගීත වන අතර depression සහ social phobia ආදිය නිසා ඔහු මුහුණ දුන් අත්දැකීම් සහ සමාජ ගැටළු පිළිබඳව ඒ ගීත පද ලියැවී තිබෙනවා. ඒ හැරුණු විට දකුණු කොරියාවේ මෙන්ම බටහිර ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සමඟ මෙන්ම Samsung ඇතුළු ප්‍රසිද්ධ ව්‍යාපාර නාම සමඟ එක්ව තවත් ගීත සහ තනු විශාල විශාල ප්‍රමාණයකට නිෂ්පාදනයෙන් සහ ගායනයෙන් දායක වූ යූන්ගී ගීත 124 කට වැඩි ප්‍රමාණයක් සඳහා බුද්ධිමය දේපල හිමිකම දරණ අතර 2018 වසරේ සිට වැඩිම බුද්ධිමය දේපල හිමි කලාකරුවන්ට ලබා දෙන KOMCA හි නිත්‍ය සාමාජික තනතුර ට හිමිකම් කියනවා.

  • Agust D ‘대취타’ Daechwita ගීතයේ සිංහල තේරුම [video]
  • First Love ගීතයේ සිංහල තේරුම [video]
  • ‘So Far Away’ ගීතයේ සිංහල තේරුම [video]

තමන්ගේ ගීත හරහා මානසික සෞබ්‍යය සහ වෙනත් සමාජ ගැටළු ගැන කතා කරන යූන්ගි මානසික සෞබ්‍යය සහ LGBTQ+ සමාජයේ සම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවෙක්.

“මේ ලෝකේ ඉන්න හැමෝම තනි වෙලා දුකින් ඉන්නේ. ඉතින් අපි දන්නවා නම් හැමකෙනාම වේදනා විඳිනවා, තනි වෙලා ඉන්නවා කියලා, උදව් ඉල්ලන්න පුළුවන්, කියන්න අමාරු දේවල් කියන්න පුළුවන්, අපිට කෙනෙක් නැතුව පාළුව දැනෙද්දී ඒක කියන්න පුළුවන් විදිහේ වටපිටාවක් සකස් කරන්න අපිට පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා.”

Min Yoongi for Billboard Magazine

ග්‍රීක පුරාවෘත්තයක සඳහන් අල්ලන හැම දේම රත්‍රං බවට හැරවෙන මයිඩාස් රජු වගේ යැයි හඳුන්වන මින් යූන්ගි    තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න පටන් ගන්නේ අවුරුදු 13 දී. කොතරම් බාධක, ගැටළු වලට මුහුණ දීමට සිදු වුණත් තම උත්සාහය අත හැරියේ නැහැ. පුංචි බාධකයක් ඉදිරියේ වුණත් සැලෙන, උත්සාහය අතහරින අයට වගේම හැමෝටම ඔහු රචනා කරන ගීත වලින් වගේම, ඔහුගේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් වටිනා ආදර්ශ එමටයි.

අපි ඉපදිලා ඉන්නේ සැබෑ මනුස්සයෙක් වෙන්න මිස සර්ව සම්පූර්ණ කෙනෙක් වෙන්න නෙමෙයි. ඔයාට හීනයක් නැතිනම් කමක් නැහැ. සතුටින් ඉන්න. ඒ ඇති!

Min Yoongi | SUGA of BTS

Agust D (2016)

D-2 (2020)

video version