තිරසාර සංවර්ධන අරමුණු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) 2021 SDG සමුළුවේදී BTS ලබා දුන් පණිවිඩය
දකුණු කොරියාවේ බිග්හිට් එන්ටර්ටේන්මන්ට් ආයතනය (වර්තමානයේ Hybe සමාගමට අයත්) විසින් කළමණාකරණය කරන BTS සංගීත කණ්ඩායම වර්තමානයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතරින් එකක්.
තරුණ පරපුර සහභාගී කරවා ගෙන තිරසර සංවර්ධන අභිමතාර්ථ ලඟා කර ගැනීම පිළිබඳ ව ඔවුන්ගේ අදහස් පල කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආරාධිතයින් වශයෙන් 2021 SDG සැසි වාරයට සම්බන්ධ වෙමින්.
කිම් නම්ජූන් (BTS RM): කොරියානු සමූහාණ්ඩුවේ ජනාධිපති නියෝජිතයින් ලෙස BTS අපට, මෙතනට එන්න ලැබීම විශේෂ ගෞරවයක්. අපි අද මෙතනට ආවේ අනාගත පරපුරේ කථා ඔබ සමඟ බෙදා ගැනීමටයි. මෙතනට එන්න කලින්, ලෝකය පුරා විසිරී සිටින නව යොවුන් වියේ සහ තරුණ වියේ පුද්ගලයින්ගෙන් අපි ඉල්ලා සිටියා, පසුගිය අවුරුදු දෙක සහ අද ඔවුන් ජීවත් වන මේ ලෝකය ගැන ඔවුන්ගේ කථා අප සමඟ බෙදා ගන්නා ලෙස. අපිට ලැබුණු පිළිතුරු වලින් කිහිපයක් ජින් දැන් බෙදා ගනී.
කිම් සොක්ජින් (BTS Jin): මේ (පිළිතුරු) දිහා බැලුවම ඔබට දැනේවි හොඳ හැඟීම්. පසුගිය අවුරුදු දෙක තුළ, මටත්, කරදරකාරී සහ අවුල් සහගත බවක් දැනුණු සමහර වේලාවල් තිබුණා. ඒත්, “අපි ජීවත් වෙමු. මේ මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගමු!” කියලා හඬ නඟන පුද්ගලයෝ මෙතන ඉන්නවා.
පාර්ක් ජි-මින් (BTS Jimin): අළුත් අභියෝග වලට මුහුණ දෙන්න අපේ ජීවිතයේ හොඳම වේලාව උදා වී තිබෙන මේ මොහොතේ අපිට මුකුත් නොකර ඉන්න බැහැ. (මේ වාතාවරණයට) අපිට කාටවත් දොස් පවරන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට දැනෙන්න ඇති ඒ නිෂ්එල බව. මම ඊයේ වගේමයි අදත්. ඒත් අපේ ලෝකය ක්ෂණයකින් වෙනස් වුණා හරියට අපිව වෙනත් සමාන්තර ලෝකයට මාරු කළා වගේ.
ජියොන් ජන්ග්කුක් (BTS Jung Kook): “පාසල් වලට ඇතුලත් කර ගැනීමේ සහ උපාධි උත්සව අවලංගු කල බව අහන්න ලැබුණම මම කණගාටු වුණා. ජීවිතයේ මේ වගේ අවස්ථාවන් තමයි සමරන්න ඕනි. ඉතින් (ඒ අවස්ථා) මඟ හැරීම අවුල් සහගත වෙන්න ඇති. ගොඩක් කාලයක් තිස්සේ සැළසුම් කළ අපේ ප්‍රසංග චාරිකා අවලංගු කරන්න සිදු වුණා අපි අතිශයින් කනගාටුවට පත් වුණා. සම්පූර්ණ කරගන්න බලාගෙන හිටපු ඒ අවස්ථාවන් වෙනුවෙන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු කාලයක් තිබුණා.”
මින් යුන්ගි (BTS SUGA): “ඔව්, ඒ තමයි කොවිඩ් අපෙන් උදුර ගත්ත දේවල් වෙනුවෙන් ශෝක වෙන කාලය. අපි ඒ තරම් තැකීමකට නොගත්ත සෑම මොහොතක්ම මොන තරම් වටිනවාද කියලා සොයා ගන්න කාලය”
පාර්ක් ජි-මින් (BTS Jimin): ෂුගා (SUGA) කිව්වා අපි ඒ තරම් තැකීමකට නොගත්ත වටිනා දේවල් ගැන. ගොඩක් අය අපේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ ඔවුන්ගේ වටිනා අවස්ථා වල ඡායාරූප අප සමඟ බෙදා ගනිමින්. ගොඩක් අය පෙන්නුවා සොබාදහමත් එක්ක ඔවුන් ගත කල ආකාරය. මම හිතන්නේ මේ අවුරුදු දෙකේදී ඔවුන් සොබා දහම අත් විඳින්න සහ ආරක්ෂා කරන්න ආදරණිය කාලයක් සොයා ගත්තා.
ජන්ග් හෝසොක් (BTS j-hope): ඔව්, ඒත් ඒ සමහරවිට මේ ලෝකේ අපේ කාලය සීමා වෙලා කියලා දැණුන භයංකර හැඟීම නිසා වෙන්න ඇති. අපි දැන් කතා කළා අපි ශෝක වෙන දේවල් ගැන. මේ පෘතුවිය වෙනුවෙන් ශෝක වීම ගැන (හිතද්දී) මාව වෙව්ලනවා. දේශගුණ විපර්යාස කියන්නේ වැදගත් ගැටළුවක් යන්නට හැමෝම එකඟ වෙනවා ඒත් ඒකට හොඳම විසඳුම මොකක්ද කියලා කතා කරන එක, ඒක පහසු දෙයක් නෙමෙයි. ඒක නිගමන වලට එන්න අමාරු මාතෘකාවක්
කිම් නම්ජූන් (BTS RM): ඔව් ඒක අමාරු තීරණයක්. ඒත් අද දවසට සූදානම් වෙද්දී මම දෙයක් ඉගෙන ගත්තා. පරිසර ගැටළු ගැන උනන්දුවක් දක්වන, ඒ ක්ෂේත්‍රය අධ්‍යාපනයට තෝරා ගන්න තරුණ පුද්ගලයින් ගොඩක් ඉන්නවා. අනාගතය කියන්නේ ගවේෂණ නොකළ දේශයක්. අපි, අනිත් හැමෝටම වඩා, අපේ කාලය ගත කරන්න යන්නේ එතනයි. ඉතින් අපි ඒ අනාගතයේ ජීවත් වෙන්න ඕනි කොහොමද කියන ප්‍රශ්නෙට මේ තරුණ පුද්ගලයින් පිළිතුරු සොයමින් ඉන්නවා.
කිම් ටේහියුන්ග් (BTS V): ඉතින් මම හිතන්නේ, අපි එයාලගේ අනාගතය භයානක අඳුරක් ලෙස සැලකිය යුතු නැහැ. අපට ඉන්නවා ලෝකය ගැන සැළකිල්ලක් දක්වන පිළිතුරු හොයන අය. අපි ගැන ලියැවුණු කතාවේ තව පිටු ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා අවසානය දැනටමත් ලියැවිලා ඉවරයි කියලා හිතාගෙන අපි කතා කරන්න හොඳ නැහැ.
ජියොන් ජන්ග්කුක් (BTS Jung Kook): අනිවාර්යෙන්ම. සමහර වේලාවට ඔබ යන්න සූදානම් වෙලා හිටියත් ලෝකය එක තැනක හිර වෙලා වගේ. සමහර වෙලාවට ඔබට පාර වැරදිලා වගේ දැනෙනවා. අපිටත් ඒ විදිහටම දැණුනු කාලයක් තිබුණා.
කිම් නම්ජූන් (BTS RM): නව යොවුන් වියේ සහ වයස අවුරුදු විසි ගණන් වල පුද්ගලයින්ව අතරමං වුණු පරම්පරාව ලෙසින් හඳුන්වනවා මට ඇහුණා. අළුත් දේවල් අත්හදා බැලිය යුතු, විවිධාකාර අවස්ථාවන් ඔවුන්ට අවශ්‍ය කාලයක ඔවුන්ට පාර වැරදිලා කියනවා. ඒත් මම හිතන්නේ ඔවුන් අතරමං වෙලා කියන එක ගැලපෙන්නේ නැහැ. මොකද, වැඩිහිටියන්ගේ ඇස් වලින් ඔවුන් තනා ගන්න පාරවල් මොන වගේ ද කියලා බලන්න බැරි නිසා.
පාර්ක් ජි-මින් (BTS Jimin): ඔව්, බලන්න මේ රූප දිහා. මෙතන ගොඩක් අය ගොඩක් මහන්සි වෙනවා අළුත් ආකාරයට, ඔවුන්ගේ මිතුරුකම් අන්තර්ජාලය හරහා දිගටම පවත්වාගෙන යන්න. අළුත් දේවල් ඉගෙන ගන්න පටන් ගන්නවා. වඩාත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න උත්සාහ කරනවා……මේ දරුවෝ අළුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා ඒ වගේම අළුත් දේවල් අත්හදා බලනවා. ඔවුන් අතරමං වෙලා වගේ පේන්නේ නැහැ. ඔවුන් අළුත් අභියෝගයන්ට මුහුණ දෙනවා වගේම අළුත් ධෛර්යයක් සොයා ගන්න බවයි පේන්නේ.
කිම් සොක්ජින් (BTS Jin): මම හිතන්නේ ඒ නිසයි “අතරමං වුණු” පරම්පරාව වෙනුවට “සාදරයෙන් පිළිගන්නා” පරම්පරාව කියන නම වඩාත් ගැලපෙන්නේ. මොකද, අභියෝගයට බිය නොවී මේ පරම්පරාව කියන්නේ ‘සාදරයෙන් පිළිගන්නවා. අපි ඉදිරියටම යමු’ කියලයි.
කිම් නම්ජූන් (BTS RM): ඒක හරි. අපි කරන්න පුළුවන් දේවල් සහ බලාපොරොත්තුව පිළිබඳ විශ්වාස කලොත්, බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙද්දිත්, අපි යන ගමන නැති වෙන්නේ නෑ ඒ වෙනුවට අපිට පුළුවන් අළුත් දේවල් හොයා ගන්න.
මින් යුන්ගි (BTS SUGA): අපි තෝරා ගන්නා දේවල් නිවැරදිම නොවෙන අවස්ථා තියේවි. ඒත් එකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට කරන්න කිසිම දෙයක් නැති වෙයි කියලා.
ජන්ග් හෝසොක් (BTS j-hope): වැදගත් වෙන්නේ වෙනසකට මුහුණ දෙන්න සිදු වුණාම අපි තෝරා ගන්නා තේරීම්. එහෙම නේද? අපි එක්සත් ජාතීන්ගේ සමුළුවට එන බව ආරංචි වුණාම ගොඩක් අය හෙව්වා අපි එන්නත ලබා ගත්තද කියලා.
මම කැමතියි මේක අවස්ථාවක් කර ගෙන කියන්න “ඔව් අපි හත්දෙනාම අපේ (කොවිඩ්) එන්නත් ලබා ගත්තා”
කිම් නම්ජූන් (BTS RM): එන්නත හරියට අපි එනකම් බලා ඉන්න අපේ රසිකයින් මුණ ගැසෙන්න සහ අද මේ විදිහට ඔබ ඉදිරියට එන්න මඟ සැකසූ ටිකට් පතක් වගේ. අපි අද අපේ පණිවිඩයෙදි කිව්ව විදිහටම, අපිත් අපිට මේ මොහොතේ කරන්න පුළුවන් දේවල් කරනවා.
කිම් ටේහියුන්ග් (BTS V): එන්නත් වගේම, මේ අළුත් යතාර්ථයේ ඉදිරියට යන්න විවිධ උත්සාහයන් දිගටම ගන්නවා. ඒ වගේම මම හිතනවා අපි මුහුණට මුහුණ හමුවෙන දිනය වැඩි ඈතක නෙමෙයි. එතකම්, මම බලාපොරොත්තු වෙනවා, අපේ සෑම දවසක්ම ධනාත්මක ශක්තියෙන් සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් වෙයි කියලා.
කිම් නම්ජූන් (BTS RM): අපි හිතුවා ලෝකය නතර වෙලා කියලා. ඒත් ලෝකය දිගටම ඉදිරියට යනවා. අපි ගන්න හැම තෝරා ගැනීමක්ම වෙනසක ආරම්භය මිස අවසානය නෙමෙයි. මම බලාපොරොත්තු වෙනවා මේ සෑදී ගෙන එන නව ලෝකයේ, අපි හැමෝටම පුළුවන් වේවි එකිනෙකාව සාදරයෙන් පිළිගන්න. ඉතින් දැන්, මේ අනාගතය එනකම් බලා ගෙන ඉද්දී, සෑම දෙනා එක්කම බෙදා ගන්න අවශ්‍ය වුණු අපේ පණිවිඩය තමයි”නටන්න අවසරයි – Permission to dance” (ගීතය).
No responses yet