කිම් සොක්ජින් BTS Jin

වෘත්තීය ගායන ශිල්පියෙක්, ගී පද රචකයෙක් සහ නර්තන ශිල්පියෙක් ‌වන කිම් සොක්-ජින් ගේ වේදිකා නාමය Jin වේ.
BTS සංගීත කණ්ඩායමේ ගායක‌ තනතුර සහ නිල visual තනතුර හොබවන ඔහු කණ්ඩායමේ වැඩිමල්ම සාමාජිකයා වන අතර
කිසිදු සංගීතමය පසුබිමක් නොමැතිව කණ්ඩායමට බඳවා ගත් එකම සාමාජිකයා ද වේ.

පොප් සහ බැලර්ඩ් ශෛලියේ ගීත ගායනා කරන ජින්ගේ කටහඬ රිදී හඬක් බව Grammy සාමාජික මඩුල්ල පවසා තිබුණා.

2021 වසරේ ඔහු ගායනා කළ ඒකල ගීතයක් වන “Yours” තේමා ගීතය ජපන් Billboard Hot 100 දර්ශකයේ පළමු තැන හිමි කරගත් පළමු කොරියානු තේමා ගීතය බවට පත් වූණා. 2021 දී, රටවල් 99 ක සහ ගෝලීය iTunes දර්ශක වල වැඩිම පළමු ස්ථාන ගණනක් දිනා ගත් එකම ස්වාධීන ගායකයා වන්නේ ඔහුයි.

2013 වසරේ සිට BTS කණ්ඩායම සමඟ එක් ව සිදු කරන සංගීතමය කටයුතු මෙන්ම, ‌ස්වාධීන ගීත සහ රූපවාහිනී තේමා ගීත ගායනය, සංගීත නිෂ්පාදනය සහ රචනය මෙන්ම නිවේදන කටයුතු වල ද නියැලෙන ජින් දක්ෂ ගිටාර් සහ පියානෝ වාදකයෙක්.

නමුත් වයස අවුරුදු 20 වනතෙක් සංගීතය හෝ නර්ථනය පිළිබඳ කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටි ඔහුගේ සිහිනය වූයේ වෘත්තීය රංගන ශිල්පියෙක් වීමයි. දකුණු කොරියාවේ කොන්කුක් සරසවියෙන් වෘත්තීය රංගන ශිල්පය පිළිබඳ කලා උපාධියක් ලබා ගත් ඔහු දැනට හංයං සයිබර් විශ්ව විද්‍යාලයේ මාධ්‍යය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරනවා.

කොන්කුක් සරසවියේ අධ්‍යාපනය ලබන කාලයේ ප්‍රසිද්ධ කුසලතා කළමණාකරණ ආයතනයක් වන SM ආයතනයෙන්
ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළත්, ඉන් අවුරුදු කිහිපයකට පසුව BigHit ආයතනය හරහා ජින් BTS කණ්ඩායම හා එක් වෙනවා.

විශ්ව විද්‍යාලයට යාම සඳහා බස් රථයෙන් බහින අවස්ථාවක ඔහුව දුටු Bighit කළමණාකරුවෙක් ඔහුගේ පෙනුම සුපිරි තරුවකට හොඳින් ගැලපේ යැයි සිතා කල ආරාධනාවෙන් ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වූ බවත්, ඒ නිසා ඔහුගේ ආදරණීය BTS සාමාජිකයින් මුණ ගැසීමට ඔහුට අවස්ථාවක් ලැබුණු බවත්, එය ‌දෛවෝපගත සිදු වීමක් බවත්, පවසන ජින් නැවතත් කාලය හරහා ආපස්සට යාමට සිදු වුුවහොත් අමතක නොකර ඒ බස් රථයටම නිවැරදි වේලාවට ගොඩ වී, තම සාමාජිකයන් සොයා පැමිණෙන බව ඔහු වරක් පැවසුවා.

ධනවත් පවුලක බාල දරුවා වශයෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ජින් ට BTS කණ්ඩායම හා එක් වීමත් සමඟ තමන් කුඩා කල සිටම හුරු වී සිටි සුඛෝපභෝගී ජීවිතය වෙනුවට වගකීම් රැසක් භාර ගැනීමටත්, අඩු පහසුකම් සහිත ජීවිතයකට හුරු පුරුදු වීමටත් සිදු වුණා.

තමන්ට වඩා වයසින් අඩු සාමාජිකයින් හය දෙනාගේ සියළු වගකීම් භාර ගැනීමටත්, ඔවුන් ව රැක බලා ගැනීම සහ ඔවුන්ගේ පාසල් වැඩ කටයුතු සහ ආහාර සැකසීම යනාදිය පිළිබඳ අවධානය යොමු කිරීමටත් ඔහුට පැවරුණා.

ඒ වගකීම් මෙන්ම, මින් පෙර කිසිදු පුහුණුවීමක් හෝ අත්දැකීමක් නොතිබුණු අංශ දෙකක් වූ සංගීත සහ නර්ථන අංශ වල හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට ද ඔහුට සිදු වුණා. නමුත් ඒ සියළුම වගකීම් මධ්‍යයේ තමන්ගේ විශ්ව විද්‍යාල කටයුතු ද නොනවත්වා කරගෙන ගොස් 2017 වර්ෂයේ උපාධිය ලබා ගැනීමට ඔහු සමත් වුණා.

ජින් ඔවුන්ගේ කණ්ඩායමේ ශක්තිය බව BTS කණ්ඩායමේ නායක RM පවසන අතර, j hope පවසන්නේ සියළුම සාමාජිකයින් එකට එක් කර බැඳ තබා ගන්නා පුරුක ජින් බවයි. කණ්ඩායමේ බාලම සාමාජිකයින් දෙදෙනාට විශේෂ රැකවරණයක් ලබා දීමට සමත් වූ ජින් ට Ctrl + V යන අන්වර්ථ නාමය ලබා දී තිබෙන්නේ ‍‍‍‍‍‍‍‍‍ දඟමල්ලක් වූ V පාලනය කල හැකි එකම කෙනා ජින් නිසයි.
තමන්ට නැතුවම බැරි සාමාජිකයා ජින් බවත් ඔහුගේ ආරක්ෂාව තමන්ට ලැබෙන බවත් වරක් JK පවසා සිටියා.

සාමාජිකයන්ගේ මානසික සහ ශාරීරික සෞබ්‍යය ගැන නිතර සොයා බැලූ ජින් නිතරම විහිළු තහළු කරමින්, ඔවුන් කැමති ආහාර පිසිමින් ඔවුන්ව සතුටින් තබා ගැනීමට උත්සාහ කළා. වරක් ජිමින් අහිතකර ආකාරයට ආහාර පාලනය කරන බව දැනගත් ජින් ඔහුව වැරදි ආහාර පාලන පුරුදු වලින් මුදවා ගත්තා. ඔහුගේ ඒ කාරුණික හා මවකගේ ආදරයට සමාන ගතිගුණ නිසා රසිකයින් විසින් ජින් ව “BTS කණ්ඩායමේ මව” ලෙස හැඳින්වීමට පටන් ගත්තා. ස්ත්‍රී පද භාවිතා කර ඔහුව ඇමතීම ගැන ජින් අසතුටු වුණත්
ඔහු සාමාජිකයන්ට දක්වන සෙනෙහස අදටත් නොවෙනස්.

ජින් තමන්ගේ සාමාජිකයින්ට මෙන්ම තමන්ගේ රසිකයින්ටත් (ARMY) දක්වන්නේ දැඩි ලෙන්ගතුකමක්. ඔහුගේ උපන් දිනයට රසිකයින්ට ගීතයක් තෑගි කිරීමට, තමන්ගේ එදිනෙදා ජීවිතයේ තොරතුරු ARMY සමඟ බෙදා ගැනීමට දැඩි කැමැත්තක් දක්වන ඔහු, තමන්ගේ රසිකයින් ඔහුගේ විශ්වය බවත්, තමන්ට අපහසු වුණත් රසිකයින්ව සිනහා ගැන්වීමට විවිධ උපක්‍රම භාවිතා කරන බවත් පවසනවා. එමෙන්ම තමන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට ඕනෑම අවස්ථාවක මුදලින් හෝ වෙනත් ආකාරයකින් උපකාර කිරීමට ඔහු කිසිසේත් ම පැකිලෙන්නේ නැහැ.

2018 වසරේ සිට මාස්පතා UNICEF Korea ආයතනයට මුදල් පරිත්‍යාග කරන ජින්, වොන් මිලියන 100 කට අධික මුදලක්
මේ වන විට ඒ ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා.

එමෙන්ම කොරියාවේ සත්ව හිමිකම් සංවිධානයක් වන KARA ආයතනයට ද ඔහු විශාල දායකත්වයක් ලබා දෙන අතර බොහෝ විට ඒ පිළිබඳ ව ප්‍රසිද්ධියට පත් නොකර සිටින්නේ එවැනි ක්‍රියා හරහා පැසසුම් හෝ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවෙන නිසයි.

කොරියානු මව් බස හැරුණු විට ජපන් සහ චීන භාෂා ද කතා කරන ජින් ඉංග්‍රීසි භාෂාව ද හදාරනවා.

දකුණු කොරියාවේ ජාතික සහ සංස්කෘතික සංවර්ධනයට විශිෂ්ට මෙහෙවරක් කල කොරියානුවන්ට ලබා දෙන හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්නය ජින් ඇතුළු BTS කණ්ඩායමට හිමි වුණා. එරට රජය විසින් ඔහුගේ 28 වන උපන්දිනයට මාසකට පෙර එරට නීති වෙනස් කර, වයස අවුරුදු 30 වන තෙක් ඔහුට අනිවාර්යය හමුදා සේවය ප්‍රමාද කිරීමට ඉඩ ලබා දුන්නේ ඔහුව අගය කිරීමට බව නොඅනුමානයි.