
BTS Jimin
පාර්ක් ජි-මින්, Big Hit Music ලේබලය යටතේ සිටින දකුණු කොරියානු ජාතික ගායකයෙක්, ගී පද රචකයෙක්, නර්තන ශිල්පියෙක් සහ සංගීත නිෂ්පාදකවරයෙක්.
ජිමින් (Jimin) නම් වූ වේදිකා නාමය භාවිතා කරන ඔහු, BTS සංගීත කණ්ඩායමේ ප්‍රමුඛ නැටුම් ශිල්පී සහ පෙරටු ගායක යන තනතුරු හොබවන අතර ස්වාධීන කලාකරුවෙක් ලෙස ද වැඩ සටහන් මෙහෙය වීම්, නර්තන සහ ගායන කටයුතු වල නිරත වෙනවා.
දකුණු කොරියානු ඉතිහාසයේ, ජාතික මට්ටමේ ගරු සම්මාන 3ක් ලබා ගත් එකම සංගීතඥයා වන්නේ ද පාර්ක් ජි-මින්.
- ඇමෙරිකානු-කොරියානු සබඳතා ප්‍රවර්ධනය කිරීම අගයමින් ලබා දුන් වෑන් ෆ්ලීට් සම්මානය (2020)
- හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්නය (2018)
- අවාන් නර්තනය වෙනුවෙන් ජාතික සම්මානය (2019)
ළමා කාලය සහ අධ්‍යාපන පසුබිම
1995 වසරේ ඔක්තෝම්බර් මස 13 වන දින දකුණු කොරියාවේ බූසාන් ප්‍රදේශයේ උපත ලබන පාර්ක් ජි-මින් කුඩා කල සිටම අධ්‍යාපන අංශයෙන් ඉහළ දක්ෂතා දැක් වූ කෙනෙක්.
කඩු හරඹ ගැන විශේෂ කැමැත්තක් ඇති වූ නිසා, ජිමින් 6 වන ශ්‍රේණියේ සිට ටයිකොන්ඩෝ සටන් ක්‍රමය හැදැරීම ආරම්භ කළා. ඒ හැරුණු විට හප්කිඩෝ, කෙම්පෝ සහ චීන සටන් ක්‍රම පිළිබඳව වසර 8 ක් පමණ ගැඔුරින් හැදැරීම ද, පසු කලෙක සුනම්‍ය නර්තන ශෛලීන් ඉදිරිපත් කිරීමේ දී ඔහුට ප්‍රයෝජනවත් වුණා. ටයිකොන්ඩෝ සටන් ක්‍රමය ප්‍රගුණ කර සිටින ඔහු කළු පටි ශුරයෙක්.
පාර්ක් ජි-මින් මුලික අධ්‍යාපනය ලැබුවේ හොඩොන්ග් මූලික පාසලෙන් සහ යොන්සාන් මැදි විදුහලෙන්.

යොන්සාන් මැදි විදුහලේ පාසලේ ඉහළම ලකුණු ලබා ගත් ශිෂ්‍යයෙක් වූ ජිමින්, එහි 3 වන වසරේ දී නර්තනය කෙරෙහි ඇති වූ කැමැත්ත නිසා පාසල් අධ්‍යාපනය අතරතුර Just Dance ඇකඩමියෙන් නර්තනය පිළිබඳ හැදෑරීම ආරම්භ කළා.
පාසල් අධ්‍යාපනයට විශේෂ දක්ෂතා දැක් වූ නිසා ම, නර්තන අංශයෙන් ඉදිරියට යාමට තීරණය කිරීම ඔහුගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද පුදුමයට පත් කළ බව සඳහන්. නමුත් ගුරුවරයෙක්ගේ උපදෙස් මත නර්තන අංශයට පිවිසීමට දෙමව්පියන් ඔහු ට අවසර ලබා දෙනවා…
ඉන් පසුව ඔහු බූසාන් හි සෞන්දර්ය උසස් පාඨශාලාවට ඇතුළු වන්නේ නූතන නර්තන ශෛලිය හදාරන ශිෂ්‍යයෙක් වශයෙන්. ඒ පාසලට ඇතුළු වීමත් සමඟ මුල්‍ය අපහසුතා නිසා Just Dance ඇකඩමියෙන් ඉවත් වීමට සිදු වූවත් ඔහුගේ දක්ෂතා හඳුනාගත් පුහුණුකරු ඔහුට නොමිලේ නර්තනය හැදැරීමට ඉඩ ලබා දුන්නා.
ජිමින් නූතන නර්තන ශෛලිය පමණක් නොව බැලේ නර්තන කලාව, සාම්ප්‍රදායික කොරියානු නැටුම් කලාව අනෙකුත් නර්තන ශෛලීන් ආදියෙහි ද කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළා.
බූසාන් සෞන්දර්ය උසස් පාඨශාලාවේ ගුරුවරයෙක් පවසන පරිදි ඔහු පාසලේ අනෙකුත් සියළුම ශිෂ්‍යයන්ට වඩා දැඩි කැපවීමකින් නර්තනය හැදැරූ අතර ගණිතය සහ රසායන විද්‍යාව වැනි විෂයන්ටත් ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා. 2012 දී ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම ඔස්සේ Big Hit කුසලතා පරීක්ෂණයට යොමු වූ ජිමින් ට ඒ ආයතනයේ පුහුණුවීම් ලැබීමට අවස්ථාව ලැබුණා.
Big Hit ආයතනයට එක් වීමත් සමඟ සෝල් නගරයට පැමිණි ජිමින් කොරියානු කලා පාසලට ඇතුළු වී අධ්‍යාපන කටයුතු නොනවත්වා කරගෙන යන්නේ ඔහුගේ සම වයසේ තවත් BTS සාමාජිකයෙක් වූ V සමඟයි. ජිමින් ඒ පාසලේ අධ්‍යාපනය අවසන් කරන්නේ ඒ් පාසලේ සියළුම විෂයන් වලින් ඉහළම ලකුණු ලබා ගත් සිසුවා වශයෙන්.

2013 වසරේ BTS කණ්ඩායම පිහිටු වීමත් සමඟ පුහුණුවීම් සහ ප්‍රසංග නිසා අතිශය කාර්ය බහුල ජීවිතයක් ගත කලත් අධ්‍යාපන කටයුතු නොනවත්වා කරගෙන යන ජිමින්, 2020 වසරේ ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයේ උපාධිය සම්පුර්ණ කරන්නේ විශිෂ්ට සම්මාන ලබා ගත් ඉහළ සිසුන් අතරින් අයෙක් ලෙසයි.
2021 වසරේ දී ව්‍යාපාර පරිපාලන පිළිබඳ පශ්චාත් උපාධිය හැදැරීමට ඔහු හංයං සයිබර් විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා.

BTS කණ්ඩායමට එක් වීම සහ වෘත්තීය ජීවිතය
2012 වසරේ අග භාගයේ පුහුණුවීම් ආරම්භ කර, අනෙක් සාමාජිකයන් ට සාපේක්ෂ ව මාස හයක තරම් අඩු පුහුණු කාලයකින් අනතුරුව, ජිමින් BTS කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස 2013 වසරේ ජුනි 13 වන දින තම වෘත්තීය ජීවිතය නිල වශයෙන් ආරම්භ කරනවා. කණ්ඩායමේ සාමාජිකයින් අතරින් පුහුණුවීම් සඳහා දැඩි අවධානයක් යොමු කල ජිමින් සියළු දෙනාටම පසුව නින්දට ගොස් සියල්ලන්ටම පෙර අවදි වී පුහුණුවීම් වල යෙදුණා.
දකුණු කොරියාවේ අභිමානය නමින් විරුදාවලි ලද ජිමින් ඇතුළු BTS කණ්ඩායම අද ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සම්මානනීය සංගීත කණ්ඩායමක්.
දැනට ලෝක ගිනස් වාර්තා 26 කට පමණ හිමිකම් කියන BTS, සංගීත ක්ෂේත්‍රයෙන් ඔබ්බට, ගෝලීය තරුණ නායකයින් වශයෙන් එක්සත් ජාතීන් සහ UNICEF ආයතන සමඟ ද කටයුතු කරන අතර ඔවුන්ව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 අතරටත් නම් කර තිබෙනවා.
BTS කණ්ඩායමේ සාර්ථකත්වයේ මූලික අඩිතාලම වන සාමාජිකයින් අතර තිබෙන ලෙන්ගතු බව මෙන්ම එකිනෙකා ට දක්වන සහයෝගය සහ ගෞරවය බොහෝ දෙනාගේ ප්‍රසංශාව හිමි වන කරුණක්. ජිමින් තම සාමාජිකයන්ගේ මානසික සතුට සහ යහපැවැත්ම පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත්, ඔහුගේ කරුණාවන්ත සහ ආදරණීය ගති පැවතුම් තමන් ට අස්වැසිල්ලක් බවත් සාමාජිකයන් නිරන්තරයෙන් පවසනවා.
මෘදු සහ සියුම් වර්ගයේ කටහඬක් හිමි ඔහුගේ උච්ච ස්වර ගායනයට ඇති දක්ෂතාවය මෙන්ම, විවිධාකාර නර්ථන ශෛලීන් ඉදිරිපත් කිරීමේ දී, ඒ ඒ ශෛලීන් වල රංගන ලාලිත්‍යය සහ හැඟීම් ප්‍රකාශ කිරීමේ දක්ෂතාවය නිසා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පැසසුම් ලබන පාර්ක් ජි-මින්, තම උපරිමයෙන් කැප වී නර්තනයන් සහ ගායනයන් ඉදිරිපත් කරන, තම කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන සුපිරි තරුවක්.

සමාජ සේවා
BTS කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සමඟ එක්ව විවිධ සමාජ සේවා කටයුතු වල නිරත වන ජිමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ ආධාර ලබා දෙන අතර, ඔහු ඉගෙන ගත් පාසල් වල සිසුන් ට නිළ ඇඳුම් නොමිලේ සැපයීම මෙන්ම උපන් පලාතේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් ට මූල්‍යාධාර වශයෙන් වොන් මිලියන 100 ක් පරිත්‍යාග කිරීම, පෝලියෝ රෝගීන් වෙනුවෙන් වොන් මිලියන 100 ක් පරිත්‍යාග කිරීම ඒ අතරින් කිහිපයක්.
දකුණු කොරියාවට අන්තර්ජාතික මට්ටමෙන් විශාල ප්‍රසිද්ධියක් ඇතිකර දුන් BTS කණ්ඩායමේ සාමාජිකයින්, අද ගෝලීය සංගීත කේෂ්ත්‍රයේ හිණිපෙත්තටම ලඟා වූ බිලියනපතියන්. නමුත් කොතරම් මුදල්, පැසසුම්, සම්මාන සහ ප්‍රසිද්ධිය ලැබුණත් තමන්ගේ රසිකයින්ට දැඩි ලෙන්ගතුකමක් දක්වන ජිමින් සහ අනෙක් සාමාජිකයින් අදත් නිහතමානී ව උපරිම කැප වීමෙන් වැඩ කරන්නේ තම සංගීතය හරහා යහපත් පණිවිඩයක් සමාජයට ලබා දීමේ අරමුණින්!
Videos:
- ජිමින්ගේ Filter ගීතය සිංහලෙන් [Link]
- BTS ජන්ග්කුක් සහ ජිමින් ගේ Tattoo වල තේරුම් [Link]
- BTS ජිමින්ට තවත් ගෞරව සම්මානයක් [Link]
- BTS ජිමින් ජීවිතය ජය ගත්ත හැටි [Link]
- BTS Jimin සහ V ගයන Friends ගීතය තේරුම සහ පසුබිම් කතාව [Link]