ජන්ග් හෝසොක් BTS j-hope

මහන්සි වෙලා වැඩ කළේ නැත්නම් හොඳ ප්‍රතිඵල ගන්න බැරි බව තමන්ගේ ජීවිතයේ ආදර්ශ පාඨය කරගත් ජන්ග් හෝසොක් ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ ආදර්ශමත් චරිතයක්. BTS කණ්ඩායමේ තුන්වන වැඩිමහල් සාමාජිකයා වන ජන්ග් හෝසොක් කණ්ඩායමට තුන්වෙනියට එක් වූ සාමාජිකයා ද වෙනවා. ජන්ග් හෝසොක් ගේ වේදිකා නාමය j-hope.

j-hope නම හැදුණ හැටි

ඔහුගේ Jung Ho-seok නමෙන් කොටසක් වන (J Ho) වේදිකා නාමයට ඇතුලත් කිරීමට ඔහුට අවශ්‍ය වූ අතර RM සහ Bang PD දෙදෙනා සමඟ සාකච්ජා කර j-hope ලෙස ඔහුගේ වේදිකා නාමය තොරා ගැනීමට හේතුව පැන්ඩෝරා ග්‍රීක මිත්‍යා කතාවයි.
සියුස් දෙවියන් පැන්ඩෝරා නම් කාන්තාවක් නිර්මාණය කර ඇයට කවදාවත් විවෘත නොකරන ලෙස අවවාද කර පෙට්ටියක් ලබා දී ඇයව පොලොවට එව්වා.

කාලයකට පස්සේ කුතුහලය නිසා ඇය ඒ පෙට්ටිය විවෘත කිරීමත් සමඟ ඒ පෙට්ටියේ අඟුළු දා තිබුණු රෝග, වෛරය, යුද්ධ, නියඟ, ඊර්ෂ්‍යාව වැනි සියලුම ආකාරයේ කරදර මේ ලෝකයට මුදා හැරුණා. අවසානයේ ඒ පෙට්ටියේ ඉතිරි වුණේ බලාපොරොත්තුව පමණයි. ලෝකය පුරා පැතීරී ගිය නරක ආපහු අගූළු ලෑමට නොහැකි වුණත් කරදර තිබෙන තැන බලාපොරොත්තුව ඇති කිරීමට සියුස් දෙවියන් බලාපොරොත්තුව ඒ පෙට්ටියට දැමූ බව සඳහන්.

ඒ අනුව j-hope යන නම නිර්මාණය කෙරුණේ බලාපොරොත්තුවක් ඇති කිරීම යන අදහසින්.

ජන්ග් හෝසොක් BTS කණ්ඩායමට එක් වීමට පෙරත් ක්ෂේත්‍රය තුල නමක් දිනා ගත් දක්ෂ නර්ථන ශිල්පියෙක්.
4 වන ශ්‍රේණියේ සිට, වසර 6 ක් පමණ ග්වැන්ජු සංගීත ඇකඩමියේ නර්ථනය හැදැරූ ඔහු විවිධ තරඟ වලින් ජයග්‍රහණ ලබා ගත් අතර 2008 වසරේ ජාතික මට්ටමේ නැටුම් තරඟයකදී අංක එක බවට පත් වීමටත් ඔහුට හැකි වුණා. ඔහු පාසල් අවධියේ Neuron නම් වූ underground ශෛලියේ නැටුම් කණ්ඩායමේ Smile Hoya යන වේදිකා නාමයෙන් නර්ථනයේ යෙදුණා.

BTS කණ්ඩායමට එක් වූ ආකාරය

හෝසොක් පසුව ගායනයටත් කැමැත්තක් දැක් වූ අතර idol කෙනෙක් වීමේ අදහසින් ක්ෂේත්‍රය තුල ඉහළ නමක් දිනා සිටි JYP ආයතනයේ කුසලතා පරීක්ෂණ වලට එක් වුණත්, ඔහුගේ දක්ෂතා හඳුනාගෙන ඔහුව පුහුණුවන්නෙක් ලෙස බඳවා ගත්තේ BigHit ආයතනයයි. හෝසොක් දක්ෂ නර්ථන ශිල්පියෙක් වුණත් ගායනය පිළිබඳ ඉන් පෙර කිසිදු පුහුණුවීමක් ලබා නොසිටි අතර ගායකයෙක් ලෙස ඔහුගේ කුසලතා වර්ධනය කර ගැනීමට BigHit පුහුණුව නිසා ඔහුට අවස්ථාවක් ලැබුණා.

පාසල් අධ්‍යාපනය ලබන අතරම වෙහෙසකාරී idol පුහුණුවීම් කටයුතු කරගෙනයාම සහ ඒ අංශයේ තිබෙන තියුණු තරඟය නිසා, idol කෙනෙක් නොවී ස්වාධීන නර්ථන ශිල්පියෙක් වශයෙන් ඉදිරියට යාමේ අදහසින්, හෝසොක් වරක් BigHit පුහුණුවෙන් ඉවත් වීමට තීරණය කළා. නමුත් වර්තමානයේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් වන RM සහ Jung Kook නිසා ඔහු ඒ අදහස වෙනස් කර අවුරුදු තුනක පුහුණුවීම් වලින් පසු, 2013 වසරේ BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වශයෙන් නිල වශයෙන් idol වෘත්තිය ආරම්භ කළා.

මුලින් hip-hop ශෛලියේ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අදහසින් ඔහුව රැප් ගායකයෙක් ලෙස BigHit ආයතනයේ පුහුණුවට බඳවා ගත්තත් පසුව kpop ශෛලියේ කණ්ඩායමක් ලෙස BTS නිර්මාණය කිරීමට BigHit තීරණය කළා. ඒ අනුව රැප් වෙනුවට vocalist ගායක තනතුරක් හෝසොක් ට ලබාදීමට යෝජනා වුණත්, ටේහියුන්ග් (V) ට ගායකයෙක් වීමේ (vocalist) ආශාවක් තිබුණ නිසා, V ට ගායක තනතුර ලබා දී හෝසොක් උප ගායක තනතුර තෝරා ගත් බව සඳහන්.

ඒ අනුව වර්තමානයේ ජන්ග් හෝසොක් BTS කණ්ඩායමේ Main Dancer, Lead Rapper, Sub Vocalist යන තනතුරු දරන අතර කණ්ඩායමේ නර්ථනය පිළිබඳ නායකයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම කණ්ඩායමේ නායක තනතුර දරන
RM ට, නිල නොවන උප නායකයෙක් වශයෙන් ජන්ග් හෝසොක් ලබා දෙන සහයෝගය අති මහත්. BTS කණ්ඩායමේ සාමාජිකයින් විසින් ජන්ග් හෝසොක් ව හඳුන්වන්නේ කණ්ඩායමේ ධනාත්මකභාවය සහ සමතුලිතතාවය රැක ගන්නා, කණ්ඩායමට බලාපොරොත්තුව රැගෙන එන සාමාජිකයා වශයෙන්.

BTS ARMY විසින් ඔහුට ලබා දී ඇති හුරතල් නම් අතර වඩා ප්‍රසිද්ධ නම් කිහිපයක්:

  • Golden Hyung (황금형)
  • Hobi (호비)
  • Sunshine (햇살)
  • J-Nope (제이놉)
  • 희망이 (hwee-mang-i) (බලාපොරොත්තුව)
  • 천사 (cheon-sa) (දේව දූතයා)
  • 光州小漂亮 (guāng zhōu xiǎo piào liang) Gwangju’s little beauty
  • J-Dope (제이돕)

ස්වාධීන ගායන වෘත්තිය

BTS කණ්ඩායමේ සංගීත කටයුතු හැරුණු විට ස්වාධීන ගායකයෙක් වශයෙන් හෝසොක් නිකුත් කළ Hope World ඇල්බමය අති සාර්ථක වුණා. Hope World ඇල්බමය Billboard 200 අතරට තේරී පත් වීමත් සමඟ එවකට ගීත දර්ශක වල ඉහළම සිටින කොරියානු ස්වාධීන කලාකරු බවට ඔහු පත් වුණා. එමෙන්ම ඒ ඇල්බමයේ ප්‍රධාන ගීතය වූ Daydream අංක එකට පත් වීමත් සමඟ BTS කණ්ඩායම ඇතුළු අංක 1 ට පත් වූ කොරියානු ඉදිරිපත් කිරීම් 10 අතරින් එක් අයෙක් වීමට ජන්ග් හෝසොක් ට අවස්ථාව ලැබුණා.

ඒ අනුව ස්වාධීන ගායකයෙක් වශයෙන් සහ BTS සාමාජිකයෙක් වශයෙන් පළමු දසදෙනා අතරට දෙවරක් ම එක් වීමට ඔහුට හැකියාව ලැබුණා. එමෙන්ම Artist 100 Chart ට එක් වීමට අවස්ථාව ලැබුණු දෙවන ස්වාධීන ගායකයා වන්නේ ඔහුයි. එමෙන්ම BB World Albums Chart හි 5 වන ස්ථානය ද ඔහු හිමි කර ගත්තා.

එමෙන්ම Chicken Noodle Soup ගීතය අතිශය ජනප්‍රිය වීමත් සමඟ ස්වාධීන ගායකයෙක් ලෙස BB Hot 100 ට එක් වූ පළමු BTS සාමාජිකයා බවට ඔහු පත් වුණා.

දකුණු කොරියාවේ ජාතික සහ සංස්කෘතික සංවර්ධනයට විශිෂ්ට මෙහෙවරක් කල කොරියානුවන්ට ලබා දෙන හ්වාග්වාන් සංස්කෘතික කුසලතා අස්නය ජන්ග් හෝසොක් ඇතුළු BTS කණ්ඩායමට හිමි වුණ අතර එය කොරියානු ජාතිකයෙකුට ලබා ගත හැකි එරට ඉහලම සම්මානයයි. කොරියානු සමූහාණ්ඩුවේ ජනාධිපති නියෝජිතයින් ලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2021 SDG සමුළුවට ඇමතීමටත් ජන්ග් හෝසොක් ඇතුළු BTS කණ්ඩායමට අවස්ථාව ලැබුණා.

සාහිත්‍යයට ඇල්මක් දක්වන හෝසොක් Dionysus ගීතය ඇතුළු BTS කණ්ඩායමේ ගීත වැඩි ප්‍රමාණයක් නිර්මාණය, රචනය, සහ නිෂ්පාදනය සඳහා දායකත්වයක් දැක් වූ අතර ඒ සඳහා බුද්ධිමය දේපල හිමිකම යටතේ වැඩිම බුද්ධිමය දේපල හිමි කලාකරුවන්ට ලබා දෙන Korea Music Copyright Association (KOMCA) හි නිත්‍ය සාමාජික තනතුර 2020 වසරේදී හෝසොක් ට හිමි වුණා. මෙතෙක් නිකුත් කල සියළුම BTS ඇල්බම් වල හොසොක් ගේ නම ගී පද රචකයෙක් වශයෙන් ඇතුලත් කර තිබෙනවා.

අධ්‍යාපනය සහ පවුලේ පසුබිම

ග්වැන්ජු නගරයේ Gwangju Global High School හි අධ්‍යාපනය ලැබූ හෝසොක්ට, සාහිත්‍යය ගුරුවරයෙක් වූ ඔහුගේ පියා නිසා කුඩා කල සිටම සාහිත්‍යය පිළිබඳ ආභාෂය ලැබුණා. පසුව ග්ලෝබල් සයිබර් විශ්ව විද්‍යාලයෙන් Entertainment and Media උපාධිය ලබා ගත්තා. මේ වන විට හෝසොක්, හන්යන්ග් සයිබර් විශ්ව විද්‍යාලයේ, ප්‍රචාරණය සහ මාධ්‍ය පිළිබඳ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය (Masters) හදාරනවා.

වැඩිමල් සහෝදරියක් සිටින හෝසොක් ට මුලදී නර්තන අංශයෙන් ඉදිරියට යාමට පියාගෙන් සහයෝගය ලැබුණේ නැතත් ඔහුගේ මව අමතර රැකියාවක් කරමින් ඔහුගේ නර්ථන ඉගැන්වීම් සඳහා අරමුදල් සපයා ඔහුව දිරිගන්වා තිබෙනවා. MAMA ගීතය රචනා වුණේ ඒ වෙනුවෙන් මවට ස්තූති කිරීමටයි. දිනක් පියා ඉදිරියේ තමන්ගේ උපරිම හැකියාවන් යොදා ගනිමින් තමන්ගේ නර්ථන හැකියාවන් පෙන්වා නර්ථනයට අවසර ඉල්ලා සිටි බවත්, එදින සිට ඔහුගේ පියා ඔහුට ශක්තියක් වූ බවත් හෝසොක් වරක් පවසා සිටියා.

සමාජ සේවා

BTS කණ්ඩායමේ ධනවත්ම සාමාජිකයා වන හෝසොක් වොන් මිලියන 800 ක් පමණ කොරියානු ළමා අරමුදලට පරිත්‍යාග කර ඇති අතර ඒ සියල්ල ප්‍රසිද්ධියට පත් නොකරන මෙන් ඔහු ඉල්ලා තිබුණත්, වැඩිම පරිත්‍යාග කරන පුද්ගලයින්ට හිමි වන Green Noble Club හි සාමාජිකත්වය ඔහුට පුද කිරීමත් සමඟ ඒ පරිත්‍යාග ප්‍රසිද්ධියට පත් වුණා. 2018 වසරේ සිට මේ දක්වා තමන්ගේ පාසලේ දරුවන්ට ඔහු වොන් මිලියන 350 කට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

2020 වසරේ COVID-19 නිසා අසරණ භාවයට පත් වූ දරුවන් වෙනුවෙන් ඔහු තවත් වොන් මිලියන 100 ක් පරිත්‍යාග කළා. 2021 වසරේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ආබාධ වලින් පෙළෙන දරුවන් වෙනුවෙන් වොන් මිලියන 100 ක්, ටැන්සානියාවේ යුද්ධය නිසා පීඩා විඳින දරුවන් වෙනුවෙන් වොන් මිලියන 100 ක්, අඩු ආදායම් ලබන පවුල් වල රෝගී දරුවන්ගේ වෛද්‍ය වියදම් වෙනුවෙන් වොන් මිලියන 100 ක් වශයෙන් පරිත්‍යාග කළ අතර මේ දැනට ප්‍රසිද්ධියට පත් වී ඇති පරිත්‍යාග පමණයි.

එක රැයකින් තරු බවට පත් නොවූ, වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත්, පුංචි තැනකින් ආරම්භ වී නොයෙක් බාධක ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියට ආ තරුණයින් හත් දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස, BTS සාමාජිකයෙක් මෙන්ම ස්වාධීන කලාකරුවෙක් වශයෙන් ජන්ග් හෝසොක් මේ වන විට ලෝකය පුරා රසික ආදරයට පත් වුණ, ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සම්මානලාභී, දක්ෂ කලාකරුවෙක්!

BTS ගීත වලින් වගේම ඔවුන්ගේ ජීවිත වලින් අපේ ජීවිතයට එක් කර ගත හැකි වටිනාකම් ‌සහ ආදර්ශ ගොඩක් තියෙනවා.
හැමවෙලේම සතුටින් හිනා වෙලා ඉන්න.
ජීවිතයේ ප්‍රශ්න ඉස්සරහා බාධක ඉස්සරහා පැකිලෙන්නේ නැතුව,
ඔයාට පුළුවන් උපරිම කැපවීමෙන් වැඩ කරන්න
අද කරන්න පුළුවන් වැඩක් වෙන දවසකට කල් නොදා අදම කරන්න.
මහන්සි නොවී යහපත් ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා.

Hope World

j-hope ‘Chicken Noodle Soup (feat. Becky G)

BTS j-hope සහ Becky G ගායනා කරන Chicken Noodles Soup ගීතයේ සිංහල පරිවර්තනය [video]

Blue Side (2021)

Produced by Hiss noise, ADORA
(j-hope, Hiss noise, ADORA)

Blue Side (2021) සිංහල පරිවර්තනය [video]

1 verse