BTS සංගීත කණ්ඩායමේ ආරම්භය

BTS සංගීත කණ්ඩායමේ සහ සාමාජිකයින්ගේ ආරම්භය.

ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන දකුණු කොරියානු සත් සාමාජික BTS කණ්ඩායමේ (Bangtan Sonyeondan) සාර්ථකත්වය, ජයග්‍රහණ සහ වාර්තා සමඟ කරට කර ගැටීමට වෙනත් කිසිදු නවීන සංගීත කණ්ඩායමක් මෙතෙක් සමත් වී නැහැ.

කොරියානු පොප් සංගීතය (k-pop) ට ජාත්‍යන්තර වේදිකාවේ පිළිගැනීමක් ඇති කිරීමට මෙන්ම දකුණු කොරියානු රැල්ලට (Hallyu Wave) අතිවිශාල සාර්ථකත්වයක් ලබා දෙමින් දකුණු කොරියාව මෙන්ම කොරියානු භාෂාව සහ සංස්කෘතිය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට BTS කණ්ඩායම මුල් තැනක් ගත්තා.

BTS paved the way!

Origin story of BTS BTS සංගීත කණ්ඩායමේ ආරම්භය
BTS at United Nations

එක රැයකින් තරු බවට පත් වූ සංගීත කණ්ඩායමක් නොවන,
වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත්, පුංචි තැනකින් ආරම්භ වී නොයෙක් බාධක ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියට ආ තරුණයින් හත් දෙනෙක්.

අද සංගීත ක්ෂේත්‍රයේ ආසියානු සංගීත කණ්ඩායමක් ලබා ගෙන ඇති ඉහළම සම්මාන සහ වාර්තා වලට හිමිකම් කියන BTS සංගීත කණ්ඩායමේ විශේෂත්වය, ආදරය සහ විරහව නම් වූ රාමුවකට කොටු නොවූ තාරුණ්‍යයට සහ සමාජයට වැදගත් කාලීන ගැටළු වලට ඔවුන්ගේ ගීත හරහා ආමන්ත්‍රණය කිරීමයි. BTS ගීත වල පමණක් නොව සාමාජිකයන්ගේ චරිත වලින් ද, අප්‍රතිහත ධෛර්යය, එකමුතුව, කැපවීම, නිරහංකාරත්වය හා සභ්‍යත්වය වැනි ජීවිතයට එකතු කර ගන්න පුළුවන් බොහෝ ගුණාංග, ආදර්ශ තිබෙනවා.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් එකතු වුණ හැටි

කොරියාවේ බංකොලොත් වීමට ආසන්න වී තිබුණු කුඩා ගායක කළමනාකරණ ආයතනයක් වන BigHit හි හිමිකරු සහ සංගීත නිෂ්පාදකයෙක් වෙන Bang Si-hyuk ට පද රචනයට හා රැප් ගායනයට දක්ෂ මෙන්ම කොරියාවේ සරසවි පිවිසුම් විභාගයෙන් ඉහළම 1% අතරට තේරුණු, බුද්ධි එල ලකුණු (IQ) 148 ක් සහිත කිම් නම්-ජූන් ගේ (Kim Nam-joon) ව මුණ ගැහෙනවා.

BTS RM

  • උපන් නම: 김남준 (කිම් නම්-ජූන් / Kim Nam-joon)
  • වේදිකා නාමය: RM (පෙර: Rap Monster)
  • කණ්ඩායමේ තනතුර:
    • Leader (කණ්ඩායමේ නායක),
    • Main Rapper (ප්‍රධාන රැප් ගායක)
  • උපන් දිනය: 1994 සැප්තැම්බර් 12
  • උපන් ප්‍රදේශය: Yeoui-dong, Seoul, South Korea

මේ දරුවාගේ දක්ෂතා දැකපු Bang Si-hyuk 2009-10 වසරේදී අලුත් අදහසක් අනුව සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට කොරියාව පුරා දක්ෂතා ඇති දරුවන් සොයා Hit It නම් වූ කුසලතා පරීක්ෂණයක් පවත්වනවා. BTS සඳහා අඩිතාලම වැටෙන්නේ එහෙම.

ඒ කුසලතා පරීක්ෂණයෙන් සමත් වූ දරුවන් idol පුහුණුව ලබා දෙන BigHit ආයතනය අවසන් වශයෙන් තවත් සාමාජිකයින් 6 දෙනෙක් තෝරා ගත්තා.

BTS SUGA

  • උපන් නම: 민윤기 (මින් යූන්ගි/ Min Yoon-gi)
  • වේදිකා නාමය: SUGA
  • කණ්ඩායමේ තනතුර: Main Rapper (ප්‍රධාන රැප් ගායක)
  • උපන් දිනය: මාර්තු 9, 1993
  • උපන් ප්‍රදේශය: Taejeon-dong, Daegu, South Korea

පාසල් කාලයේ සිටම සංගීත රචනයට සහ නිෂ්පාදනයට දක්ෂතා දැක්වූ GLOSS නමින් රැප් ගායනා කල මින් යූන්-ගි (SUGA) කුසලතා පරීක්ෂණයකින් පස්සේ සංගීත නිෂ්පාදක පුහුණු තනතුරක් සඳහා Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) ආයතනයට බැඳෙනවා. යූන්-ගි ගේ දක්ෂතා දැකපු Bang Si-hyuk ඔහුව RM සමඟ රැප් ගායකයෙක් විදිහට පුහුණු වීමට යොමු කරනවා.

BTS j-hope

  • උපන් නම: 정호석 (Jung Ho-seok – ජන්ග් හෝසොක්)**
  • වේදිකා නාමය: j-hope
  • කණ්ඩායමේ තනතුර:
    • Main Dancer (ප්‍රධාන නර්තන ශිල්පියා)
    • Dance Leader (නැටුම් නායකයා),
    • Lead Rapper (පෙරටු රැප් ගායකයා),
    • Sub Vocalist (උප ගායකයා)
  • උපන් දිනය: 1994 පෙබරවාරි 18
  • උපන් ප්‍රදේශය: Ilgok-dong, Gwangju, South Korea

(**ජන්ග් හෝසොක් යනු බහුලව භාවිතා වන බටහිර උච්චාරණය වන අතර නිවැරදි කොරියානු උච්චාරණය වන්නේ ජොන් හෝසොක් යන්නයි)

හෝසොක් Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ නැටුම් අංශයෙන්. උපන් පළාතේ නැටුම් කණ්ඩායමක සාමාජිකයෙක් වුන හෝසොක් ට රැප් ගායන හැකියාවක් තිබෙන බව හඳුනාගත් Bang Si-hyuk ඔහුව රැප් ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා.

BTS Jung kook

  • උපන් නම: 전정국 (Jeon Jung-kook – ජියොන් ජංකුක්) **
  • වේදිකා නාමය: Jung kook (ජන්ග් කුක්) / JK
  • කණ්ඩායමේ තනතුරු:
    • Main Vocalist (ප්‍රධාන ගායකයා),
    • Sub Rapper (උප රැප් ගායකයා),
    • Lead Dancer (පෙරටු නර්තන ශිල්පියා),
    • Center (කණ්ඩායමේ කේන්ද්‍ර ලක්ෂය)
  • උපන් දිනය: සැප්තැම්බර් 1, 1997
  • උපන් ප්‍රදේශය: Mandeok-dong, Busan, South Korea

(**ජන් ජන්ග්කුක් සහ ජියොන් ජන්ග්කුක් යනු බහුලව භාවිතා වන බටහිර උච්චාරණ වන අතර නිවැරදි කොරියානු උච්චාරණය වන්නේ ජොන් ජොන්ගුක් යන්නයි)

ජන්ග් කුක් බුසාන් පළාතේ Superstar K සුපිරි තරු වැඩසටහනට සහභාගී වුනත් සුදුසුකම් ලබන්නේ නැහැ. ඒත් ඒ වැඩසටහනේදී ඔහුගේ හැකියාව දුටු කුසලතා කළමනාකරණ ආයතන 7 ක්ම කුඩා ජන්කුක් ට තමන්ගේ ආයතනයට බැඳෙන්න ආරාධනා කරනවා. අනිත් සියලුම ආයතන ප්‍රසිද්ධ දියුණු ආයතන වුනත් කිම් නම්ජූන් (RM) ගේ දක්ෂතා දැකලා පැහැදුණු අවු. 13 ක පුංචි ජන්ග් කුක්, ගායකයෙක් විදිහට Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) හි පුහුණුවට බැඳෙනවා.

BTS V

  • උපන් නම: 김태형 (කිම් ටේහ්යොං / Kim Tae-hyung)
  • වේදිකා නාමය: V
  • කණ්ඩායමේ තනතුර:
    • Sub Vocalist (උප ගායකයා),
    • Lead Dancer (පෙරටු නර්තන ශිල්පියා)
  • උපන් දිනය: 1995 දෙසැම්බර් 30
  • උපන් ප්‍රදේශය: Bisan Dong, Daegu, South Korea

කිම් ටේහ්යොං Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට යන්නේ අහම්බෙන්. ඒ එයාගේ යාළුවගේ තනියට. යාළුවා කුසලතා පරීක්ෂණය ඉවර කරනකම් ඇවිද ඇවිද හිටපු කිම් ටේහ්යොං දැකපු Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) සේවකයෙක් එයාට ආරාධනා කරනවා පරීක්ෂණයට සම්බන්ධ වෙන්න. අවසානයේ ඒ පළාතෙන් සමත් වෙන්නේ කිසිම සූදානමක් නැතුව පරීක්ෂණයට ඉදිරිපත් වූ මේ කිම් ටේහ්යොං. ඔහුවත් ගායකයෙක් විදිහට Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) හි පුහුණුවට බඳවා ගන්නවා. 

BTS Jin

  • උපන් නම: 김석진 (කිම් සොක්ජින් / Kim Seok-jin)
  • වේදිකා නාමය: Jin
  • කණ්ඩායමේ තනතුර:
    • Sub Vocalist (උප ගායකයා),
    • Visual (කණ්ඩායමේ ප්‍රධාන පෙනුම)
  • උපන් දිනය: දෙසැම්බර් 4, 1992
  • උපන් ප්‍රදේශය: Gwacheon, Gyeonggi, South Korea

රඟපෑමට සම්බන්ධ උපාධියක් හදාරමින් සිටි කිම් සොක්ජින් Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ රංගන අංශයෙන්. නළුවෙක් වෙන්න අසාවෙන් හිටිය ජින්ගේ කටහඬ ගායනයට හොඳින් ගැලපෙන බව දුටු Bang Si-hyuk ඔහුව ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා. 

BTS Jimin

  • උපන් නම: 박지민 (පාර්ක් ජිමින් / Park Ji-min)
  • වේදිකා නාමය: Jimin
  • කණ්ඩායමේ තනතුර:
    • lead Vocalist (පෙරටු ගායකයා)
    • Main Dancer (ප්‍රධාන නර්තන ශිල්පියා)
  • උපන් දිනය: ඔක්තෝබර් 13, 1995
  • උපන් ප්‍රදේශය: Hoedong-dong, Busan, South Korea

පාර්ක් ජිමින් පාසලේ ඉගෙනුම් කටයුතු වලට මෙන්ම නැටුම් වලටත් ඉහල දක්ෂකම් පෙන්වූ නිසා ගුරුවරයෙක් ඔහුව Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) කුසලතා පරීක්ෂණයට යොමු කරනවා. බුසාන් පළාතෙන් අවසන් වටයට තේරෙන ජිමින් නැටුම් වලට පමණක් නොවෙයි ගායනයටත් හොඳින් ගැලපෙන බව දුටු Bang Si-hyuk ඔහුව ගායකයෙක් විදිහට පුහුණුවට බඳවා ගන්නවා.

Debut Day 2013 06 13
– BTS සංගීත කණ්ඩායමේ මංගල දර්ශනය

  1. කිම් සොක්ජින් – Jin
  2. කිම් නම්-ජූන් – RM
  3. මින් යූන්-ගි – SUGA
  4. ජන්ග් හෝසොක් – j-hope
  5. පාර්ක් ජි-මින් – Jimin
  6. කිම් ටේහ්යොං – V
  7. ජන් ජන්ග් කුක් – Jung kook


2010 පුහුණුවීම් ආරම්භ කිරීමෙන් පස්සේ නිර්මාණය කල අළුත් සංගීත කණ්ඩායම RM ගේ නායකත්වයෙන් සාමාජිකයින් 7 දෙනෙක් සහිතව Bangtan Sonyeondan යන නමින් හඳුන්වන බව 2013 වසරේ Big Hit Entertainment (බිග්හිට් එන්ටර්ටේන්මන්ට්) නිවේදනය කරනවා. 2013 ජූනි 13 වන දින මංගල දර්ශනය පැවැත්වුණේ Mcountdown වේදිකාවේ.

BTS නමේ තේරුම් 2 ක් තියෙනවා
  • 방탄소년단Bangtan Sonyeondan – “Bulletproof Boy Scouts”
    “to block out stereotypes, criticisms, and expectations that aim on adolescents like bullets”
    “වෙඩි උණ්ඩ වගේ් නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කරගන්නා ඒකාකෘති, විවේචන සහ වැරදි අපේක්ෂාවන් අවහිර කිරීමට“
  • BTS – “Beyond the Scene” (2017 සිට)
    “growing youth Beyond The Scene who is going beyond the realities they are facing, and going forward.”
    “මුහුණ දීමට සිදුවන යථාර්ථයන්ගෙන් ඔබ්බට හා තවත් ඉදිරියට යමින් වර්ධනය වන තරුණ විය.“

ඔවුන්ගේ එක රැයකින් තරු බවට පත් වූ සංගීත කණ්ඩායමක් නෙමෙයි. පාසලේ ඉගෙනුම් කටයුතු අතරේ දිනපතා පුහුණුවීම් කරමින් තමන්ගේ සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන් මහන්සි වෙනවා. ඔවුන් වසර ගණනාවක් වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත් නමුත්, Big Hit ආයතනය කොරියාවේ වෙනත් කුසලතා කළමණාකරණ ආයතන වලට සාපේක්ෂව අලාභ ලැබූ කුඩා ආයතනයක් නිසා ඔවුන්ට නොයෙක් බාධක ගැටළු රැසකට මෙන්ම දැඩි තරඟයකට මුහුණ දීමට සිදු වුණා. රූපවාහිනි ආයතන වලින් සහ පුවත්පත් වලින් ඔවුන්ට එතරම් සහයෝගයක් ලැබුනේ නැහැ.

කණ්ඩායමේ වැඩිමල් සාමාජිකයන් පුහුණුවීම් අතරේ සුළු රැකියා වල පවා නිරත වුණා. මේ කාලේ SUGA භාණ්ඩ බෙදන්නෙක් (delivery boy) හැටියට රැකියාව කරමින් ඉන්න අතරේ අනතුරකට පවා මුහුණ දුන්නා. ඉන් අනතුරුව වේදිකාවේ දක්ෂ ලෙස නර්ථන ඉදිරිපත් කලත් 2020 වර්ෂයේ සැත්කමකට භාජනය වන ‌තෙක්ම ඔහු උරහිස වේදනාවකින් පීඩා විඳිනු ලැබුවා.

ඔවුන්ගේ මුල්ම ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ ඒ දවසේ ඉදිරිපත් කිරීමකට තෝරා ගෙන සිටි කණ්ඩායමට ඒ සඳහා පැමිණීමට නොහැකි වීමෙන් ලද අහඔු අවස්ථාවක් නිසයි. වෙනත් ආයතන විශාල වශයෙන් මුදල් වියදම් කරමින් තමන්ගේ කලාකරුවන් ජනතාවට හඳුන්වා දීමට ප්‍රචාරණ කටයුතු සිදු කලත් BIG HIT ආයතනයට එය අසීරු වුණා. ඒ නිසා You TUBE වැනි සමාජ ජාල හරහා රසිකයින් සමඟ තමන්ගෙ තොරතුරු හුවමාරු කරගැනීමටත් සංගීතය බෙදා ගැනීමටත් BTS කටයුතු කළා.

BTS ARMY සහයෝගය

BTS කණ්ඩායම වටා කොරියාවෙන් එපිට වෙනත් රට වල රසිකයින් ද විශාල වශයෙන් එක් වීමත්, පසු කාලයක ලෝකයේ ඉහලම වෙළඳ සන්නාමයක් බවට පත් වීමටත්, ඔවුන්ගේ සමාජ ජාල හරහා වේදිකාවෙන් පිටුපස ඔවුන්ගේ එදිනෙදා සැබෑ ජිවිතය හා සිද්ධීන් රසිකයන් සමඟ බෙදාහදා ගැනීම හේතුවක් වුණා. ඔවුන්ට කණ්ඩායමේ නම සහ සංගීතය ලෝකය පුරා පැතිර වීමට මුදල් ගෙවා අලෙවිකරණ කටයුතු සිදු කිරීමෙන් ලබාගත හැකි වන සාර්ථකත්වයට වඩා ඉහළ සාර්ථකත්වයක් රසිකයන්ගෙන් (ARMY) සහයෝගය නිසා ලැබුණා.

BTS රසික සංසඳය හඳුන්වන නම තමයි, A.R.M.Y

  • “Adorable Representative MC (Master of Ceremonies) for Youth”
    • ~ තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින ආදරණීය, (වැඩසටහන්) මෙහෙයවන්නා ~

මිලියන 90 කට වඩා වැඩි BTS රසිකයන් (ARMY) රටවල් 100+ ක පැතිරී සිටින, වයස අවු. 10 – 80 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන, භාෂා 46+ කතා කරන, ලෝකයේ බලවත් ම රසික කණ්ඩායම ලෙස හඳුන්වනවා. ඔවුන්ට මුල් කාලයේ විවිධ කෙනෙහිලිකම් නිසා ඉදිරිපත් කිරීමකට පහසුවෙන් අවස්ථාවක් ලබා ගැනීමටවත් නොහැකි වුනත්, අද ලෝකයේ ඕනෑම රටක BTS සංදර්ශන ටිකට්පත් අලෙවිය ආරම්භ වී පැය කිහිපයක් ඇතුලත දහස් ගණනින් අලෙවී වී අවසන් වෙනවා.

මේ සත් සාමාජික කණ්ඩායම සමාජ ජාලා හරහා ඔවුන්ට පක්ෂපාතී, ලෝකයේ බලවත්ම රසිකයින් සමූහය ගොඩනැඟූ ආකාරයත් ඒ හරහා අලෙවිකරණ අංශය වෙනස්ම මානයකට හැරවූ ආකාරය, මෙන්ම ඔවුන් ඇති කළ ධනාත්මක සමාජයීය හා සංස්කෘතික බලපෑම වැනි දෑ බොහෝ බටහිර සරසවි වල අලෙවිකරණ, සමාජ , සංස්කෘතික විෂයන් වලදී ඉගැන්වීමට යොදා ගන්නවා.

ගෝලීය සංගීත කර්මාන්තයේ ජයකෙහෙලි නැංවීම

ඔවුන් අද ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක් වගේම අලෙවිකරණ සහ මාධ්‍ය අංශයෙත් ඉහලම ඉල්ලුමක් ඇති වෙළඳ සන්නාමයක් බවට පත් වී අවසන්.

දක්ෂතා සහ විදහා දක්වන BTS, ගෝලීය සංගීත කර්මාන්තයේ අති සාර්ථකව වැජඹෙන සංගීත කණ්ඩායමක් වුයේ ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් හා කන්කළු සංගීතය මෙන්ම තමන්ගේ රසිකයන් නිතර අගය කිරීම, කණ්ඩායමේ සාමාජියන් අතර තිබෙන අපූරූ සහෝදරත්වය සහ මිතුරුකම වගේම නොවෙනස් නිහතමානී භාවය වැනි කරුණු ඔවුන්ගේ දියුණුවේ රහසයි. ඔවුන් තම ගීත හරහා බොහෝ විට සමාජයේ තිබෙන ගැටළු හා අසාධාරණයන්ට එරෙහිව වටිනා පණිවිඩ ලබාදෙනවා.

via GIPHY

ටයිම් සඟරාව ඔවුන් ව ඊළඟ පරම්පරාවේ නායකයින් ලෙසත්, ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 අතරටත් නම් කරන ලද අතර දෙවරක්ම එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට ද ඔවුන්ට ආරාධනා ලැබුණා.

ඔවුන් දැනට ලෝක ගිනස් වාර්තා 26+ කට හිමිකම් කියනවා. කොරියානු ජාතිකයෙකුට ලබා ගත හැකි එරට ඉහලම සම්මානය ලැබූ ලාබාලතම කොරියානුවන් වන්නේ BTS කණ්ඩායමයි. දකුණු කොරියානු රජය නියෝජනය කරමින් ජනාධිපති නියෝජිතයින් ලෙස එක්සත් ජාතීන්ගේ SDG සමුළුව ඇමතීමටත් ඔවුන්ට අවස්ථාව හිමි වූ අතර ඇමෙරිකානු සංගීත සම්මාන උළෙලේ හොඳම කලාකරු සම්මානය පළමු වරට ආසියාවට රැගෙන ආ සංගීත කණ්ඩායම වන්නේ ද BTS කණ්ඩායමයි.

දැනට ලබා ඇති සම්මාන වලින් කිහිපයක්

  • Mnet ආසියානු සංගීත සම්මාන 33 ක්
  • Melon සංගීත සම්මාන 29 ක්
  • ගෝල්ඩන් ඩිස්ක් සම්මාන 24 ක්
  • සෝල් සංගීත සම්මාන 20 ක්
  • කොරියානු සංගීත සම්මාන 6 ක්
  • Gaon සංගීත සම්මාන 19 ක්
  • ඇමරිකානු සංගීත සම්මාන 6 ක්
  • MTV වීඩියෝ සංගීත සම්මාන 6 ක්
  • Billboard ඉහළම සමාජ කලාකරු සම්මානය අඛණ්ඩව වසර 5 ක්
  • Billboard සංගීත සම්මාන 9 ක්
සමාජ සේවා

BTS කණ්ඩායම UNICEF සමඟ එක්ව විවිධ සමාජ සේවා කටයුතු වල නිරත වන අතර කොරියාව තුල පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දරුවන්ට, රෝහල් වලට මෙන්ම විවිධාකාර විපත් වලින් අසරණ වූ ජනතාවට ඔවුන් ආධාර ලබා දෙනවා. BTS ගීත ඇල්බම් වලින් ලබන ආදායම මෙන්ම සාමාජිකයින් තමන්ගේ පෞද්ගලික ධනයෙන් ද නිතර ආධාර සිදු කලත් බොහෝවිට ඔවුන්ගේ ඒ ආධාර බෙදා දෙන්නේ තම රසිකයන්ගේ නමින්.

via GIPHY

කොරියාව තුල හා වෙනත් රටවලද සිදු වන අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින ඔවුන්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් BTS x UNICEF #ENDviolence හා Love Myself “තමන්ට ආදරය කරන්න” යනාදී වැඩසටහන් දියත් කර සමාජ දැනුවත් කිරීමට කටයුතු කරනවා..

“BTS is more than just a boyband, they are activists creating fast and big change in the world.“
BTS කණ්ඩායම සංගීත කණ්ඩායමකට පමණක්ම සීමා නොවූ ලෝකයට යහපත් වෙනසක් කල හැකි තරුණ නායකයින් පිරිසක්!

Globe

Connect with BTS